top of page
rotaractmfc

නොපිපුණු මලක පහස සොයන අටියෙන්එමල තලනු වෙනුවට, නුදුරු දිනෙක පිපී ලොවක් සුවඳවත් කරන්නට සවි වෙමු

written by Sanjula Senanayake

සීමාමායිම් නොමැති ළමා ලොවෙහි රිසිසේ සරන්නට, ළමුනට ඇති මඟ අවුරාලමින්, ළමාතටු සිඳලන, ළමා අපයෝජනයේ අඳුරු බලපෑම්

මඳකට ඔබ ඔබගේ ළමාකාලය සිහියට නගාගන්න යැයි මම ආරම්භයේදිම ඔබට ඇරයුම් කරනු කැමෙත්තෙමි. සීමා මායිම් නොමැති, ආදරය සෙනෙහස උතුරාගිය ,වගකීම් හිසමත නොරැඳුණු, තනතුරු, නම්බුනාම කිරුළු නොපැළදුණු , සුපිරිසිදු සිත්සතන්වලින් හෙබි, අව්‍යාජ සිනහව ගිගුම්දෙන , සුමුදු සුසිනිඳු ලොවක ලැබූ පහස ඔබ බහුතරයකටම සිහියට නැගෙනු ඇතැයි සිතමි. එවන් සුන්දර ලොවට අභියෝගයක් ව ඇති ළමා අපයෝජනයට අභියෝග කිරීම අදවනවිට අප සැමගේ භාරදූර කාර්යයක් බවට පත්ව ඇත.


"ළමා අපයෝජනය යනු දෙමව්පියන් හෝ රැකබලාගන්නන් විසින් සිතාමතා හෝ නොදැනුවත්වම ළමයෙකුට හානිවන, මරණය ඇතිවන, චිත්තවේගීය හානියක් සිදුවන හෝ දැඩි හානියක් සිදුවීමේ අවධානමක් ඇති කරනු ලබන ක්‍රියාවක් සිදුකිරීමයි.ළමා අපයෝජනය ශාරීරික,ලිංගික, මානසික, චිත්තවේගීය හෝ නොසලකා හැරීම යන ආකාරයන්ට සිදුවිය හැක. සාමාන්‍යයෙන් මෙම ආකාර තනිව සිදුවනවාට වඩා අපයෝජන ආකාර කිහිපයක සංයෝජනයක් ලෙස සිදුවීමට වැඩි ඉඩකඩක් ඇත."


කායිකව සිදුවන අපයෝජනයේ බලපෑම් අතර පැහැදිලි කළ නොහැකි තුවාල ප්‍රමුඛ වේ. තැලීම්, සීරීම්,අස්ථි බිඳීම්,පිළිස්සුම්,උදරයේ හා හිසේ තුවාල බහුලව දැකිය හැක. ලිංගික ප්‍රදේශයේ තුවාල හා ලේ ගැලීම් ද තිබිය හැක. ඇතැම් තුවාල ජීවිතය පුරාවටම පීඩා ගෙන දෙන්නට තරම් භයානක විය හැක.කායික අපයෝජනයේ සෙසු බලපෑම් සලකා බලන විට අපයෝජිත දරුවාගේ වර්ධනයේ ගැටලු මතුවීම දැක්විය හැක.එහිදී බර වැඩිවීම ප්‍රමාද වීම හෝ අනපේක්ෂිත ලෙස බර වැඩිවීම මෙන්ම මොළයේ වර්ධනයේ ගැටලු ද ඇතිවිය හැක.එවැනි මොළයේ වර්ධනයේ සංකූලතා ලෙස කතනයේ හා භාෂාව හැසිරවීමේ ගැටලු ,ප්‍රතිචාර දැක්වීමේ ප්‍රමාදයන් ඇතිවිය හැක .


ලිංගික අපයෝජනයේ බලපෑම් යටතට ගැනෙන ලිංගික ප්‍රදේශයේ අපට සංවේදිවන තුවාල සලකුණුවලට අමතරව අභ්‍යන්තරව ඇතිවන බලපෑම්, ඔහුට දිවිතුරා පීඩාගෙනදීමට තරම් දරුණු වියහැක. දරුවන් ලිංගික ශ්‍රමිකයන් ලෙස යොදාගැනීම මඟින් ඔවුනට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළඳීමේ ප්‍රවණතාවක් ද ඇතිවී ඇත. එමෙන්ම අසාමාන්‍ය ලිංගික චර්යාවන්ට හුරුවීම, මඳසරුබව හා ලිංගික බෙලහීනතාවය සෙසු අහිතකර බලපෑම් ලෙස දැක්විය හැක.ළමා ලිංගික අපයෝජන සැළකීමේදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ ගැහැණු දරුවන් පිළිබඳව වුවත් අද වනවිට පිරිමි දරුවන් ද බහුලව ලිංගික අපයෝජනයට ලක්වන අතර එය ඔවුනට නිහඬ ව විඳදරාගැනීමට සිදුවී ඇත.ලංකාවේ දකුණු වෙරළබඩ ප්‍රදේශවල සිදුකරන ලද සමීක්ෂණයකට අනුව අපයෝජිත දරුවන්ගෙන් 70% පිරිමි දරුවන් වේ. කාමාතුර සංචාරකයන්ගේ ගොදුරු වන මෙම ළමුන් සම්බන්ධව අවධානය යොමු කිරීමේදි ඔවුන්ගෙන් බහුතරයක් මව්පියන් අහිමිවීමත් සමග අසරණ වූවන්ය. එකී කඳුළු කතා බොහොමයක ආරම්භය , තමන්ට අහිමි වූ ජීවිතය තම බාල සහෝදරයන්හට හෝ හිමිකර දෙනුවස් දරන අහිංසක ප්‍රයන්තයක් බව ඔබ බොහෝවිට නොදන්නවා විය හැක.


අපයෝජනය කියු සැණින්ම බොහෝ පිරිසකට හැඟෙන්නේ ලිංගික අපයෝජනය පිළිබඳ වුවත් ලෝක සෞඛ්‍යය සංවිධානය පෙන්වාදෙන පරිදි වැඩිම ප්‍රතිශතයක් එනම් 36% ක් පමණ වාර්තා වන්නේ මානසිකව සිදුවන අපයෝජනයන් ය. මෙම මානසික අපයෝජනය දෙමව්පියන්ගේ නොදැනුවත්කමින් සිදුවන අවස්ථාවන් බහුල වේ. තම දරුවා අන් දරුවන් සමඟ සංසන්දනය කිරීම, දරුවන්ට දැඩිසේ දඬුවම් කිරීම හා දරුවන් සමඟ ගතකරන කාලය අඩු වීම දරුවන් මානසිකව අපයෝජනය වන අවස්ථාවන් කිහිපයක් වේ. එම දරුවන් අධ්‍යාපනයට අවධානය යොමුකිරීම අතපසු කිරීම ,දෙමව්පියන්ට එරෙහිවීම හා කාංසාව, විශාදය වැනි රෝගවලට ගොදුරු වීම බහුලව සිදුවේ.දරුවෙකු හට අන්අයවලුන්ගේ රැකවරණය හා සෙනෙහස අත්‍යවශ්‍ය වේ. මෙවැනි සිදුවීමකට මුහුණදුන් දරුවෙකුගේ මානසික තත්ත්වය කෙබඳු වියහැකි ද...සාමාන්‍ය දරුවෙකුට වඩා රැකවරණයක් නිතැතින්ම ඔවුනට ලැබිය යුතුය. අධික කෝපය,කාංසාව ,තනිව සිටීමට ඇති කැමැත්ත,අසාමාන්‍ය හැසිරීම්, පෞරුෂ දුර්වලතා ඇතිවිය හැකි බැවින් එවැනි දරුවෙකුගේ මානසික වර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළයුතුය.


යුදසමයේ උතුරේ ළමා සොල්දාදුවන් ලෙස අහිංසක දරුවන් යුදපුහුණුව ලබාදීම පිළිබඳව සලකමු. එහිදී ළමා මනස තුළ වෛරී සිතුවිලි ජනිතකර සතුරා අභිමුව ජීවිත හානිකරගැනීමට පෙළඹවීමක් සිදු වූ අතර එය එම අත්දැකීමට මුහුණදුන් දරුවන් දරුණු ලෙස මානසිකව අපයෝජනයට ලක්වූ අවස්ථාවක් ලෙස හුවාදැක්විය හැක.යුද සොල්දාදුවන් මගින් මෙම දරුවන් ලිංගිකව මෙන්ම කායිකව ද පීඩාවට පත්වූ අවස්ථාවන්ද වාර්තා වී ඇත. මව්පියන් ඇකයෙහි හැදීවැඩියුතු දරුවන් ඔවුන්ගෙන් හුදෙකලා කොට අවිඅතදරා විමුක්තිය උදෙසා මෙලෙස අරගලයක යෙදවීම අවාසනාවන්ත තත්ත්වයකි .


කතාබහට අඩුවෙන් ලක්වන , දරුවන් නොසලකා හැරීමෙන් සිදුවන අපයෝජනය කෙරෙහි අපි අවධානය යොමුකරමු.මෙම අමිහිරි අත්දැකීම්වලට ගොදුරු වන දරුවන් නොසලකා හැරීමේ ප්‍රධානතම අහිතකර බලපෑම වන්නේ එකී දරුවන්ගේ අධ්‍යාපනය බිඳවැටීමයි. ඔවුනට පාසල් අධ්‍යාපනය ලැබීමට වරම් හිමිවුවත් ඔවුන්ගේ මානසික බලපෑම් නිසාවෙන් අධ්‍යාපනයේ සාර්ථකත්වය ළඟාකරගැනීමට අපහසු විය හැක. විශේෂයෙන්ම මෙවැනි අපයෝජන වලට ලක්වන්නේ මව්පිය සෙනෙහස අහිමිව වෙනත් භාරකරුවන් යටතේ හැදීවැඩෙන දරුවන් ය. නැතහොත් මව විදෙස්ගතව බීමත් පියා යටතේ සිටින අයවලුන්ය. තමන්ගේ භාරකරුවන් ලෙස සිටිනා අයවලුන් අතින් හෝ ඔවුන්ගේ අනුදැනුම මත දරුවෙකුගේ අනාගතය අඳුරු වීම කෙතරම් දුක්ඛිත ද...


ලංකාවේ ළමුන්ගෙන් 3% මව්පිය සෙනෙහස අහිමිව ළමානිවෙස්වලට කොටුවී ඇත. කිසිදු හව්හරණක් නොමැති වීදි සරණා දරුවන් අත්විඳිනා තත්ත්වය ද අමුතුවෙන් කිවයුතු නොවේ. ඔවුන් ළමා ශ්‍රමිකයන් ,ළමා ගණිකාවන් හා මතෙහි ගොදුරු බවට පහසුවෙන් ම ලක්වේ. ලොව පුරා මිලියන 215 ක් ළමා ශ්‍රමිකයන් වන යුගයක ළමා ලොව පිළිබඳව සුබවාදීව අපට කතාකළ නොහැක.මෙලෙස කුසට අහරක් නොමැතිව ඉබාගාතේ යමින් එකිනෙකාගේ අවශ්‍යතා ඉටුකර දෙන තත්ත්වයට වීදි දරුවන් පත්ව තිබීම අවාසනාවකි. ඔවුන් නිතැතින්ම අපයෝජනයේ ගොදුරු බවට යළියළිත් පත්වනු ඇත. එම දරුවන් අනාගතයේදී සමාජ විරෝධී පුද්ගලයන් බවට පත්වීම ද නිතැනින්ම සිදුවන්නකි. මත්ද්‍රව්‍යය මත්කුඩු වලට ඇබ්බැහිවූවන් සහ නොයෙකුත් සමාජ අසම්මතයන්වල යෙදෙන්නන් බොහොමයක් එදා ළමාකල සමාජයෙන් පැතූ පිහිට නොලද්දන් වේ. අපයෝජිත දරුවෙකු සාධුසම්මත සමාජය විසින් හංවඩු ගසා නොසලකා හරිනුඇත. ඒ අනුව සමාජයට වෛරී දරුවෙකු බිහිවනු ඇති අතර එම දරුවා වැඩිහිටියෙකු වු පසු කුඩාකල අත්දැකීම සපුරාගන්නට යොමුවනු ඇත. තව ද සියදිවි නසාගැනීම්, ළමාගැබ්ගැනීම් හා ළමාවිවාහ දක්වා මංපෙත් විවර කරන්නේ ඔබේ මෙම නොසලකා හැරීම විය හැක.දිනක ඔබගේම දරුවෙකු, ඔබ නිරූපිත සමාජය විසින් නොසලකා හරිනලදුව ගිය ඔහුගේම ගොදුරක් වියහැකි බව ඔබ සිහිතබාගත යුතුය. එවැන්නක් සිදු නොවීමට ඔබ අද ඔබගේ සමාජ කාර්යභාරය ඉටුකළයුතුව ඇත.


දිනකට පමණක් සීමාවී ළමාලොව තනන්නට කතාකිරීමෙන් කිසිදු පලක් නැත. දෙවන ලෝක යුද්ධයක් අවසන් කළ දියුණු යැයි උදම් අනන ලොවකට ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කළ නොහැකිවී තිබීම ඛේදනීය තත්ත්වයකි. නුදුරු අනාගතයේදී හෝ දරුවනට සුරක්ෂිත හෙටක් දායාද කරන්නට ඔබටත් මටත් හැකිනම් එදින ඔවුන් ඔවුන්ගේම ජගත් දිනය සමරනු ඇත.


මූලාශ්‍ර

1.Sri lanka college of pediatrician https://www.google.com/url?sa=t&source=web&rct=j&url=http://www.fpasrilanka.org/sites/default/files/lets_protect_our_children_from_child_abuse-_sinhala_.pdf&ved=2ahUKEwiNlpWIwYjtAhXDX30KHa8NCxUQFjAAegQIAhAB&usg=AOvVaw1_T0ronzBBetHicOaVyDlK

2.plan organization's leaflets

3.The impact of family in producing child sex laborers by keerthi jayawardene -https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://nisd.ac.lk/images/pdf/5.pdf&ved=2ahUKEwjM6tT_5ojtAhXLfn0KHX6ZBIA4ChAWMAJ6BAgBEAE&usg=AOvVaw099i9sIMY7Z7cJQS0TILOO

4.child abuse

https://themomchildcare.com/si/child-abuse-interview-with-a-psychotherapist/

5. Child abuse and neglect by nursing centre https://www.nursingcenter.com/journalarticle?Article_ID=1168384&Journal_ID=54016&Issue_ID=1168383

6.some reflects on child abuse in srilanka by research gate https://www.researchgate.net/publication/244948389_Some_reflections_on_child_abuse_in_Sri_Lanka


31 views0 comments

Comments


bottom of page