top of page

වරම් ලැබ පිපෙන තුරා මලක් නටුවෙන් බිදිණු එපා...

Updated: Dec 5, 2020

Written by: Samadhi Wijeysinghe

අයිතිය කාගේ වුවද කොන්දේසි විරහිත ව ළමා කැකුළු වලට ආදරය කරන්නට අප බොහෝමයකගේ සිත් සතන් පෙළඹෙන්නේ නිසගයෙනි. එහෙත් ඇහැරෙන්නටත් පෙරාතුව බලෙන් පෙති ඇහැරවාලූ, තැලී පොඩි වූ, පරව මියැදුණු අපමණක් මල් කැකුළු අබිමුව අපි හඩා ඇත්තෙමු. අදටත් හඩන්නෙමු. වයස අවුරුදු 18 ට අඩු ළමයින්ට සිදුවන අතවර සහ නොසලකා හැරීම් ළමා හිංසනයන් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථ දක්වයි. එයට සියලුම වර්ගවල ශාරීරික හා චිත්තවේගීය වශයෙන් වන පීඩා කරීම්, ලිංගික අපයෝජනයන්, නොසලකා හැරීම්, නොසැලකිල්ල සහ වාණිජ හෝ වෙනත් සූරාකෑම් ඇතුළත් වන අතර එමඟින් වගකීම, විශ්වාසය හෝ බලය මත වූ සම්බන්ධතාවයක සන්දර්භය තුළ දරුවාගේ සෞඛ්‍යයට, පැවැත්මට, සංවර්ධනයට හෝ ගෞරවයට සැබෑ හෝ විභව්‍ය හානියක් සිදු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ,ගෝලීය වශයෙන් ළමුන් බිලියනයකට අධික සංඛ්‍යාවක් පසුගිය වසර තුළ ශාරීරික, ලිංගික හෝ මානසික ප්‍රචණ්ඩත්වයන්ට ලක්වී ඇත. එමෙන්ම වයස අවුරුදු 2-4 අතර ළමුන් 4 න් 3 කට ආසන්න ප්‍රමාණයක් එනම් ළමුන් මිලියන 300ක් - නිතිපතා දෙමාපියන් සහ රැකබලා ගන්නන් අතින් ශාරීරික හෝ මානසික හිංසනයන්ට ලක් වේ.

එමෙන් ම ජාතික ළමාරක්ෂක අධිකාරියේ දත්ත වලට අනුව පසුගිය වසර තුල පමණක් ශ්‍රී ලංකාව තුළ වාර්තා වී ඇති මුළු ළමා අපචාර පැමිණිලි සංඛ්‍යාව 8558 වන අතර ඉන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි (1167) .

ලමා හිංසනයන් ශාරීරික, මානසික, ලිංගික, මූල්‍ය හා ආධ්‍යාත්මික ලෙස කාණ්ඩ කිහිපයක් යටතේ වර්ග කෙරේ.කෙසේ නමුත් ප්‍රායෝගික ව සිදුවන බොහොමයක් ළමා හිංසනයන් මෙවන් හිංසන වර්ග කිහිපයක එකතුවක් වේ. ලංකාවේ වාර්තා වන අපචාර පැමිණිලි අතර වැඩිම ප්‍රමාණයක් අකාරුණික සැර වැර කිරීම් ගණයට අයත් ඒවා වේ (2342).

  • ශාරීරික හිංසන

කෙනෙකුට එරෙහිව ශාරීරික බලය යෙදවීම ශාරීරික හිංසනයන් වන අතර ගෘහස්ථ අපයෝජනයක් ශාරීරික පහරදීමකින් ආරම්භ වන්නේ කලාතුරකිනි. බොහෝ අවස්ථාවල දී අපයෝජකයාට, පීඩිතයා අභියෝගයක් සිදුවන බවට හැගීයන විට පමණක් ශාරීරික හිංසනය භාවිතා කරනු ඇත. පහර දීම, කම්මුලට ගැසීම, සෙලවීම, සැපීම, කෙනිත්තීම, ඇණ ගැසීම, හිසකෙස් ඇදීම හා මත්ද්‍රව්‍ය භාවිතයට බල කිරීම එවන් හිංසනයන්ට නිදසුන් වේ.

  • ලිංගික අපයෝජන

ලෝකයේ සෑම කාන්තාවන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු ද, පිරිමින් 13 න් 1 ක් අයෙකුද සිය වයස අවුරුදු 0-17 අතරදී ලිංගික අතවරයට ලක්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත තහවුරු කරයි.


එමෙන්ම ලෝකයේ වයස අවුරුදු 20 ට අඩු තරුණියන් / ගැහැණු දරුවන් මිලියන 120 කට අධික ප්‍රමාණයක් වසරක් තුළ දී ලිංගිකඅතවරයන්ට ලක් වේ.

අනවශ්‍ය, අනාරක්ෂිත හෝ පහත් ලිංගික ක්‍රියාකාරකමක නියැලීමට යමෙකුට බල කෙරෙන ඕනෑම අවස්ථාවක් ලිංගික අතවරයක් වන අතර ස්ත්‍රී දූෂණ, ලිංගික අතවර( මුඛ, ගුද හෝ යෝනි සංසර්ග), ලිංගික අපහාස( වාචික), ලිංගික පහරදීම්, ලිංගික චර්‍යා වීඩියෝ ගත කිරීම්, කාමුක දර්ශන හා ඒවා නැරඹීමට කෙරෙන බලකිරීම් ආදී ඕනෑම ක්‍රියාවක් මෙයට අයත් වේ.



  • මානසික හිංසන

වාචික, මනෝවිද්‍යාත්මක මෙන්ම චිත්තවේගීය වශයෙන් වන අහිතකර බලපෑම් මේ ගණයට අයත් වේ. මානසික අපයෝජනයේ බලපෑම බොහෝ විට ශාරීරික හිංසනයට වඩා ගැඹුරු වන අතර දිගු කලක් පවතී. විවිධ නම් කීම, අනවශ්‍ය විහිළු, අපහාස කිරීම්, හානි කරන බවට කෙරෙන බිය වැද්දීම් සහ තර්ජන, ආත්ම අභිමානය හා හැකියාවන් අවතක්සේරු කිරීම්, නොසලකා හැරීම්, දෙමාපිය ගැටලු, සයිබර් අපහාස, බැනුම් සහ විශ්වාස පලුදු කිරීම් ආදිය මෙයට නිදසුන් වේ.



  • ආර්ථික හෝ මූල්‍ය අපයෝජන

මූල්‍ය පරිපාලනය අනවශ්‍ය ලෙස පාලනය කිරීම, මුදල්, බැංකු කාඩ් හා ගිණුම් වැනි දේ පවත්වා ගැනීම තහනම් කිරීම හා රැකියාවලට යාම තහනම් කර සම්පූර්ණ යැපෙන්නන් බවට පත් කිරීම ආදිය මෙයට අයත් වේ.



  • ආධ්‍යාත්මික අපයෝජන

අදාළ ආගම, සංස්කෘතිය සහ ඒවායේ විශ්වාසයන් සහ සම්ප්‍රදායන් පිළිබඳ ව ඔබට අවබෝධයක් නොමැති නම් අධ්‍යාත්මික හිංසනය හඳුනා ගැනීම දුෂ්කර විය හැක. මෙයට නිදසුන් ලෙස ආගමික විශ්වාසයන් යමෙකු හසුරවා ගැනීමට යොදා ගැනීම, යමෙකුගේ ආගමක් සමච්චලයට ලක් කිරීම, සංස්කෘතිය හා සාමාජීය විශ්වාස ප්‍රචණ්ඩත්වයට නිදහසට කරුණු ලෙස භාවිතා කිරීම, විවාහ බලපෑම්, ළදරු විවාහ, ලිංගික අවයව විකෘති කිරීම, තම ආගමික විශ්වාසයන්ට එරෙහි වීම හා වෙනත් ආගම් වැළද ගැනීමට බල කිරීම් ගත හැක.



මෙවැනි කිනම් ආකාරයක හිංසනයක් වුවද අදාල දරුවන්ට මෙන්ම සමස්ත සමාජයට ද එල්ල කරන අහිතකර බලපෑම අති විශාල ය. විශේෂයෙන් එවැනි හිංසනයන් අදාල දරුවාට, එම දරුවාගේ සමීපතමයන්ට, පවුල්වලට දැඩි හිත් රිදීම් දුක් වේදනා ඇති කරනවා පමණක් නොව දීර්ඝ කාලීන කම්පනයන්ට හා සමාජ අපහාසයන්ට හා බියට ලක්වීමට හේතු වේ. එමෙන්ම සමහරක් ,දරුවන්ගේ මොළයේ වර්ධනයට බාධා කිරීම හා ඒ හා සම්බන්ධ ආතතියන්ට හේතු වේ. එවැනි අධික ආතතීන් නිසා ස්නායු හා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනය අඩාල වීමක් පවා සිදු විය හැක.


තවද ළමා කාලයේ මුහුණ දෙන අතවරයන් හේතුවෙන් වැඩිහිටියන් ලෙස, එලෙස හිංසනයට ලක්වූ දරුවන් පසුකාලීනව දිගින් දිගටම එවැනි අතවරයන්ට ගොදුරු වීමේ හා සමාජ විරෝධී අපරාධකරුවන්, අපචාරකයන් බවට පත්වීමේ ඉහළ අවදානමක් පවතී. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහි වීම් සහ අවදානම් සහිත ලිංගික චර්‍යා, අනපේක්ෂිත ගැබ්ගැනීම්, විශාදය හා මානසික ආතතිය හා සියදිවි නසා ගැනිම්, හදවත් රෝග, පිළිකා වැනි බෝ නොවන රෝග වලට හා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලට ගොදුරු වීම් වැනි චර්යාත්මක, ශාරීරික හා මානසික සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණදීමට ඔවුනට සිදුවිය හැක.


තව ද ළමා හිංසනයන් අදාළ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා සීමා කිරීමට හෝ මුලුමුනින් ම අහිමි කිරීමට හේතු විය හැක. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව ළමා කාලයේ ඕනෑම ආකාරයක හිංසනයක් අත්විඳින දරුවන්ට පාසලෙන් උපාධිය ලබා නොගෙන පිටව යාමේ සම්භාවිතාව 13% කි. ළමා හිංසනයේ උක්ත සෞඛ්‍ය, සමාජීය හා අධ්‍යාපනික ප්‍රතිවිපාකවලට අමතර ව, රෝහල්ගත කිරීමේ වියදම්, මානසික සෞඛ්‍ය ප්‍රතිකාර, ළමා සුභසාධනය සහ දිගු කාලීන සෞඛ්‍ය වියදම් ඇතුළු ආර්ථික අංශයට සිදුවන අහිතකර බලපෑම් ද පවතී.


මහා ගස් වන්නට හීන දකින පුංචි පැල රැකබලා ගත යුතුය, පෝෂණය කළ යුතු ය. අතැර දමන පැල නිසාවෙන් ලෝකය වල් වදිනු ඇත.


දළඹුවන්ට උන් සමනල්ලුන් බව කිව යුතුය. හීන සොයා ඉගිලිය යුතු බව ඉගැන්විය යුතුය. යන මග පෙන්වාලිය යුතුය. අතරමග කොටු කරන, අල්ලා පොඩි කර දමන සමනලුන්ට දේදුන්න මග ඇරෙනු ඇත.


පාට අහිමි ව දේදුන්න මැකී යනු ඇත.


කෑ ගසා හඩමින් ලෝකයට අව්‍යාජ සිනහව ගෙන එන්නේ ඔවුන් ය. ලෝකය ආදරයෙන්, දයාවෙන්, සෙනෙහසින් මෙන්ම සතුටින් පුරවන්නේ ඔවුන් ය. කොටින්ම ජීවත් වන්නට නැවුම් සිහින ලෝකයට දෙන්නේ උන් ය.


ඉතින් හීන දකින්නට, ඒවා හඹා යන්නට, හැබෑ වන හීන වල නවතින්නට උන්ට ඉඩ හරින්න. ඔවුන් ලෝකය ලස්සන කරනු ඇත.


ඒ ආදරයට ආදරය කරන්න. උන් ව සුරකින්න.


ළපටි හීන දීප්තිමත් හෙටකට දොරගුළු විවර කරනවා නොඅනුමානය.




මූලාශ්‍ර:

ලෝක සෞඛ්‍ය සංවිධාන වෙබ් අඩවිය - ළමා හිංසනය පිළිබඳ ලිපි

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙබ් අඩවිය - 2019, 1929 හදිසි පැමිණිලි තොරතුරු

අන්තර්ජාල ලිපි The first step to the freedom - Domestic abuse ලිපිය.





23 views0 comments
bottom of page